ත්‍රස්තවාදය පිළිබඳ ඉස්ලාමීය මතය

අල් මෂූරා – ප්‍රකාශය 4

විශ්වයේ අධිපති හා නිර්මාතෘ දෙවිඳුන්ට අවනත වීම තුළින් මෙලොව සාමකාමී, යුක්ති සහගත හා සමෘධිමත් දිවියක් ගත කිරීමට මෙන්ම සදාකාලික එලොව ජීවිතයේ ජය ලැබෙන ආකාරයේ දැහැමි හා සිල්වත් දිවියක් ගත කිරීමට ඉස්ලාමය මග පෙන්වයි. ඉස්ලාමය ගොඩනැගී ඇත්තේ සත්‍යය, සාධාරණය, දයාව, සමානතාව වැනි යහගුණ මතය. මේ අනුව අසාධාරණය, කොන්කිරීම, මර්ධනය වැනි දුර්ගුණ ඉස්ලාමය තරයේ හෙළා දකියි. මෙවැනි දුර්ගුණාංග තනි පුද්ගලයන් මෙන්ම රජයක් හෝ ආයතනයක පිහිටීම ඉස්ලාම අනුමත නොකරයි.

මෙවන් සෘණාත්මක හැසිරීම් නිවැරදි කර ගැනීමට ඉස්ලාමය උපදෙස් ලබා දෙන්නේ කරුණාව හා සුහදත්වය මගින් මිස ප්‍රචණ්ඩත්වය, ක්‍රෝධය හෝ අයුක්තිය මගින් නොවේ. කෙටියෙන් කිවහොත් නරක මාර්ගයෙන් යහපත අත් කරන්නට ඉස්ලාමය අනුබල දෙනේනේ නැත. යහපතක් සඳහා නපුර උපයෝගී කිරීමෙන් කිසිසේත් යහපතක් සිදු වන්නේ නැත යැයි ඉස්ලාමය උගන්වයි. ඒ අනුව ත්‍රස්තවාදය නම් වූ ප්‍රචණ්ඩකාරී සංකල්පය සඳහා ඉස්ලාමය අනුබල නොදෙයි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව එය පිළිකුල් කර ඈත් කළ යුත්තකි.  

ඉස්ලාමය මෙසේ ත්‍රත්වාදය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන විට බටහිර ලෝකය ඒ සඳහා දෙන විග්‍රහය දේශපාලන අරමුණු සඳහා ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම යනුවෙන් දැකිය හැකිය. මේ නිසා ප්‍රචණ්ඩත්වය හෙවත් ත්‍රස්තවාදය සංවිධාන විසින් පමණක් නොව රජයන් විසින්ද වෙනත් නම් යොදමින් උපයෝගී කරනු දැකිය හැකිය. විශේෂයෙන් ඒකාධිපති පාලන තිබෙන රටවල පාලකයන් පොලිසිය හා හමුදාව යොදවමින් ජනසමාජයේ භීෂණයක් ඇති කිරීමට ජනයාට එරෙහිව හා ජනතාව මර්ධනය කිරීමට යොදවන ක්‍රමෝපාය අන් කිසිවක් නොව ත්‍රස්තවාදයයි. බොහෝ අවස්ථාවල ඒකාධිපති රජයක මෙවන් ක්‍රියාකලාපවලට එරෙහිව අවි ගන්නා කොටස් ද පිළිතුරු වශයෙන් එම ත්‍රස්තවාදයම තෝරා ගනිති. මේ අනුව බලන කල ත්‍රස්තවාදය යනු සැහැසි චක්‍රයකි. එනම් ජනතා අභිලාෂ ඉටු කරන්නට බැරි නිසා පාලනයෙන් ඉවත් විය යුතු රජයක් හෝ පාලකයෙක් එය වෙනුවට ජනතාවගේ විරෝධය මර්ධනය කිරීමට ත්‍රස්තවාදය අතට ගන්නා අතර, එයට ප්‍රතිචාර දක්වන මහජනයාද එම මෙවලමම සියතට ගනිති. ඒ අනුව ත්‍රස්තාවදය තවත් ත්‍රස්තවාදයක් බිහි කරනු මිස තිබෙන ගැටළුවට විසඳුමක් ත්‍රස්තවාදයෙන් ලැබෙන්නේ නැත. මෙම තත්ත්වය බලන කල ත්‍රස්තවාදයේ ප්‍රාරම්භය රජයක් වැනි නීත්‍යානකුල ආයතනයකින්ම ඇති වන බව ලෝක ඉතිහාසය අපට පෙන්වා දෙයි.

ඉස්ලාම් ධර්මය යනු එලොව ජීවිතය ගැන පමණක් කියන ආධ්‍යාත්මිකයට හෝ අද්භූත දේවලට පමණක් සීමා වුනු ඇදහීමක් නොව අංගසම්පූර්ණ ජීවන ක්‍රමයකි. ඉස්ලාමයේ මූලික ආගමික ග්‍රන්ථය වන ශුද්ධ අල් කුර්ආනයේ දිගම වැකිය ස්වර්ගය හෝ නිරය ගැන කියන්නක් නොව එය මෙලොව වාසය කරන මිනිසුන් දෙදෙනෙකු ණය ගනුදෙනුවක් කර ගත යුතු ආකාරය විස්තර කරන්නකි. මේ අනුව දේශපාලනය, ආර්ථීකය ආදි ජන ජීවිතයට අදාළ සියලු විෂයයන් ඉස්ලාමයට අදාලය. එහෙයින් පාලනයේ වගකීමක් සියතට ගන්නා පුද්ගලයෙකු යුක්තිය, සාධාරණය, සමානාත්මතාවය, සිල්වත් බව, දයාව, විචක්ෂණ බුද්ධිය ඇති හා මරණින් පසු අවසාන විනිශ්චය දිනයේ තමන්තේ ක්‍රියාවලට වගවිය යුතුමය යන කරුණ ගැන නිතරම සිහියෙන් සිටින ආධ්‍යාත්මික අතින්ද ඉහළ තත්ත්වයක සිටින්නෙකු විය යුතුය. මෙවන් පුද්ගලයෙකු පාලනය කරන විට එම රටෙහි ත්‍රස්තවාදයක් බිහි නොවෙයි. මේ අනුව, දේශපාලන බලයක් හෙවත් වගකීමක් අත් කර ගැනීමට ත්‍රස්තවාදය උපයෝගී කිරීම ඉස්ලාමීය ක්‍රමය නොවේ. එහෙත් සමාජවාදය, නාසිවාදය, ධනවාදය වැනි වාදවල නම් බලය අත්පත් කර ගැනීමට ත්‍රස්තවාදය උපයෝගී කිරීමට තහනමක් නැත. වෙනස වන්නේ ත්‍රස්තාවදය යන නම ඔවුන් එයට භාවිතා නොකිරීමයි. එය වෙනුවට විප්ලවය, කැරැල්ල, උද්ඝෝෂණය, නිදහස් සටන, හමුදා පාලනය, ඇඳිරි නීතිය ආදි නම්වලින් එය තමන්ට රිසි පරිදි ඒ ඒ අවස්ථාවලට සුදුසු පරිදි යොදා ගැනීමය.

මේ කරුණු සියල්ල අනුව ඉස්ලාමය වැජඹවීම සඳහා හෝ රටක පාලනයක් අත් කර ගැනීම සඳහා හෝ ප්‍රචණ්ඩත්වය උපයෝගී කරගැනීමට ඉස්ලාම් ධර්මයේ කිසිසේත්ම අනුමැතියක් නොමැත. එය රජයක් විසින් කළද, තනි පුද්ගලයෙකු විසින් හෝ සංවිධානයක් විසින් කළද වැරදි පිළිවෙතක් ලෙස හෙළා දැකිය යුතු,  සාපරාධි ක්‍රියාවක්මය. මෙවන් අපරාධ ක්‍රියා කරන රාජ්‍යය හා සංවිධානමය ත්‍රස්තවාදයේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. පලස්තීනය, ගාසා වැනි රටවල හා ප්‍රදේශවල රැඳී සිටිමින් එහි ජනයාට හිරිහැර කරන හමුදා මෙන්ම අල් කයිදා, අයි.එස්.අයි.එස්, බොකොහරාම් ආදි සියල්ල හෙළා දැකිය යුතු ත්‍රස්ත කල්ලිම වේ.  නියම මුස්ලිම්වරුන් හා නියම මුස්ලිම් රාජ්‍ය එවැනි සැහැසිකම්වලට සෙසු සාමකාමී ලෝකයා සමග එරෙහිව නැගි සිටිනු ඇත. ආධ්‍යාත්මික පදනමක් නොමැති දේශපාලනයක් මගින් නිසියාකාරව රාජ්‍ය පාලනයේ වගකීම් ඉටු වෙතැයි මුස්ලිම්වරුන් මායා ලෝකයක ජීවත් නොවිය යුතුය.

ත්‍රස්තවාදය ඇතුලූ සියලූම ක්‍රෝධ හා වෛරී ආකල්ප නැති කරන ප්‍රත්‍යක‍ෂම අවිය වන්නේ දයාවයි. එනිසා එක් ජනකොටසක් පමණක් කොන් කරමින් ඔවුන්ට දෙන අනිසි පීඩනය නවතා දමා, සහෝදරත්වය ප්‍රවර්ධනය කර, සංවාදය, අන්‍යෝන්‍ය වැටහීම හා ගරුත්වය හරහා සදාකාලික සාමය ඇති කිරීමට අප සැම එක්ව ක්‍රියා කළ යුතුය. කොටි සංවිධානය වැනි ප්‍රදේශමය ත්‍රස්ත සංවිධානවල ක්‍රියාකලාප මෙන්ම අයි.එස්.අයි.එස් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන විසින් ජනයාට කිසිදු සෙතක් වන්නේ නැත. කොටි සංවිධානය වැනි සංවිධානයට අත් වුනු ඉරණමෙන් මෙය සනාථ වූ අතර එසේ සමූලඝාතනයට ලක් නොවී තිඛෙන ත්‍රස්ත කල්ලිවල අවසානයද මෙයට වඩා වෙනස් වන්නේ නැත. එනිසා ත්‍රස්තවාදය ප්‍රචණ්ඩත්වය ආදිය ලොවින් තුරන් කිරීමට අප සැම එක්ව ක්‍රියා කළ යුතුය.  

තාරික් මහ්මූද්
සභාපති
ජාතික ශූරා සභාව

Check Also

Major earthquake in Turkey, Syria kills more than 1,400 people

The magnitude 7.8 tremor caused buildings to collapse and was felt as far as Lebanon …

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Discover more from Sri lanka Muslims Web Portal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading